Facebook

සෙනසුරු මාරුව 2012 - ඔබේ ලග්නයට කොහොමද ?

2012 අගෝස්තු 04 වන දින සෙනසුරු සිකුරුට හිමි තුලා රාශියේ උච්චක්ෂේත්‍ර විය. සෙනසුරු තුලාවේ උච්ච වූයේ අද නොවේ. පසුගිය වසරේදීය. හරියටම කිව්වොත් 2011 නොවැම්බර් 15 වෙනි අඟහරුවාදා පෙ.ව. 9.26 ටය. සෙනසුරු තුලා රාශියේ සිටියේ 2012 පෙබරවාරී මස 8 වෙනිදා දක්වා පමණි. සෙනසුරු ග්‍රහයාගේ දීර්ඝ වූ ඉලිප්සාකාර ගමන ජ්‍යොතිෂ්‍යට අනුව වක්‍රයකට මග පාදනු ලැබීය. එදින සිට වක්‍ර වූ සෙනසුරු ආපස්සට ගොස් 2012 මැයි 16 දින පෙ.ව. 6.47 ට තම මිත්‍ර රාශියක් වූ කණ්‍යාව වෙත පිවිසීය. කෙටි කාලයක් තුල කණ්‍යාවේ සිටි සෙනසුරු නැතත් නිවෘත වී 2012 අගෝස්තු 04 වන අද දින පෙ.ව. 8.36 ට නැවතත් තුලාවට පැමිණියේය.

දැනට මුල් අංශකවල සිටින ශනි හෙවත් සෙනසුරු ඔක්තෝබර් 15 දින සිට තම බලය තුලා රාශියේ පතුරුවනු ඇත. මේ අයුරින් 2014 නොවැම්බර් මස 02 දක්වා වර්ෂ 2 යි මාස 2 යි දින 28 ක කාලයක් සෙනසුරු තුලා රාශියේ සිටියි.
‍විශ්ණු දෙවියන්ටත් බටකොළ කැවූ සෙනසුරු අපට මොනවානම් නොකරයිද යන සිතුවිල්ල කෙනෙකු තුල ජනිත වුවහොත් එය පුදුමයට කාරණාවක් ද නොවේ. සෙනසුරු දුන්නොත් අත පිරෙන්න දෙනවා සේම ගත්තොත් හූරගෙනම ගන්නවා. එයත් එක්තරා සත්‍යකි. සෙනසුරු අපල, ජන්ම ඒරාෂ්ඨක සහ අෂ්ඨම ඒරාෂ්ඨක, මේවාත් සෙනසුරු හා සම්බන්ධව නිතර කියවෙන වචනයි. සෙනසුරු දුකට අධිපති ග්‍රහයා ලෙස බොහෝ දෙනෙක් දැන සිටියද එම සෙනසුරුම සැපයට මග සලසන බව ඔබ දැන සිටියාද? යම් කේන්දරයකට සෙනසුරු පාපියෙකු වන විට තවත් කේන්දරයකට යෝග කාරක ග්‍රහයාද වන්නේය.

පහත දක්වා ඇති සියලුම පලාපලයන් එකී ලග්නයන් පදනම් කොට ගෙන පොදුවේ ඉදිරිපත් කරන ලද ඒවා බවත්, ඔබගේ උප්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් ග්‍රහ ගෝචර වලට අනුව එම පලාපලයන් වෙනස් විය හැකි බවත් සැලකිය යුතුය.

සෙනසුරු මාරුව එක් එක් ලග්නවලට බලපාන්නේ මෙසේය.

මේෂ ලග්නයෙන් උපන් ජන්මින්ගේ 10 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා 7 වැන්නා වූ තුලා රාශියට පැමිණ බලවත් වෙයි. හත්වැන්න විවාහ ස්ථානයයි. සෙනසුරුට දිග්බල ස්ථානය වූ හත්වැන්නට බලවත්ව පැමිණීම මේෂ ලග්න හිමියන්ට ප‍්‍රබල මංගල යෝගයක් උදා වීමක් සේ සැලකිය හැකිය. මෙතෙක් කල් විවාහය ප‍්‍රමාද වූ මේෂ ලග්න හිමියන්ට ඉදිරි කාලය තුල විවාහය සිදු වීමට හෝ මංගල යෝගයක් ස්ථිර වීමට නියමිත වෙයි. සාර්ථක පේ‍්‍රම සබඳතා ඇති වෙයි. විවාහක අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි. හවුල් කටයුතු සාර්ථක වෙයි. රැකියා බලාපොරොත්තු වූ අයට රැකියා හිමි වෙයි. ආදායම් තත්ත්වය ඉහළ යයි. ස්වයං රැකියා, ව්‍යාපාර දියුණුවට පත්වෙයි. බොහෝ වෙනස්කම් ආර්ථිකය වෙනුවෙන් සිදුවෙනු ඇත. පමා වූ වැඩ කටයුතු අවසන් කිරීමට වාසනාව හිමි වෙයි

වෘෂභ ලග්න හිමියන්ගේ 9 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා 6 වැන්න වූ රෝග සහ සතුරු ස්ථානයට සෙනසුරු බලවත් වී පැමිණෙයි. වෘෂභ ලග්න හිමියන්ට යෝග කාරක ග‍්‍රහයා වූ සෙනසුරු බලවත්ව හය වැන්නට පැමිණීම හතුරෝ පරාද වී මෙතෙක් පැවති සතුරු කරදර නිමාවට පත්වන බව පෙන්නුම් කරයි. අධ්‍යාපනයේ නියැලෙන දරුවන්ට විභාගවලින් සමත් වීමට භාග්‍ය ඇති කාලයකි. ලෙඩ දුක් වලින් පීඩා විඳි වෘෂභ ලග්න හිමියන්ට නිරෝගී සුවය ලැබීමට හෝ ඉන් සහනයක් ලැබීමට මෙම ග‍්‍රහචාරය බලපාන බව පෙනෙයි. සැපෙන් විනෝදයෙන් කාලය ගත කිරිමට හැකි කාලයකි. රැකියා, ස්වයං රැකියා උසස් තත්වයට හා ව්‍යාපාර දියුණුවට කාලයකි. ධනය හිමිවන කාලයකි. රැකියා ව්‍යාපාර ආදිය දියුණුවට පත් වෙයි. රැකියා ලැබේ. අනාගත දියුණුවට මග පෑදෙයි. ආදරය, විවාහයට සුබයි.

මිථුන ලග්න හිමියන්ගේ 8 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 5 වැන්න වූ විද්‍යා ස්ථානයට පැමිණීම අධ්‍යාපන කටයුතු වලින් ජයග‍්‍රහණය ලැබීමට හේතු වෙයි. වන්දනා ගමන් බිමන් ආදියට සහභාගී වනු ඇත. පිං දහම් කටයුතු වල යෙදෙමින් කාලය ගත කිරීමට සිත යොමුවනු ඇත. දරුඵල අපේක්‍ෂා කරන අඹු සැමියන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් පින්වන්ත දරු උපතක් සිදුවන කාල සීමාවකි. මිථුන ලග්න හිමියන්ගේ සිතේ පවතින බලාපොරොත්තු රැසක් ඉටුවන කාලයකි. විභාග, තරඟ විභාග වලින් ජය ලැබේ. උදරාබාධ, අක්මාව ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් වුවහොත් වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි රෝග ඇතිවීමේ ඉඩ වැඩිවෙයි. පාප මිත්‍ර සේවනයෙන් මිදිය යුතු සහ දුරදක්නා නුවණුන් සිහිබුද්දියෙන් වැඩ කලයුතු කාලයකි.

කටක ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති සහ 8 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 4 වැන්නට බලවත් වී සෙනසුරු පැමිණෙයි. මෙය කටක ලග්න හිමියන්ට "සස" නම් පංච මහා පුරුෂ යෝගය උදා කරමින් සිය පවුලට වාසනාව උදා කිරීමට හේතු වෙයි. සිව්වැන්නේ සෙනසුරු බලවත් වීම දේපල ලාභ, යාන වාහන ලාභ හිමි වීමට හේතු වෙයි. කේන්ද්‍රයේ 4 වැන්න උච්ච වීම හේතුවෙන් මව් පාර්ෂවයෙන් උරුමයෙන් ලැබීමට තිබූ දේපලක අයිතිය මෙම කාල සීමාව තුළ ඔබට ලබා ගැනීමේ වාසනාව හිමි වෙයි. නිවාස, ඉඩම්, දේපල, භූමිය සම්බන්ධයෙන් පැවැති කරදර පහව යනු ඇත. නිරවුල් වෙයි. අධ්‍යාපනික කටයුතුවල නිරත කටක ලග්න හිමියන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි. රැකියා, ව්‍යාපාර කටයුතු දියුණුවෙයි. මුදල් කරදර අවසන් වෙයි. අඟහිඟ නැතිව යයි. රැකියාවේ පහසු ස්ථාන මාරුවීම් සහිතයි. උසස්වීම හිමියි. රැකියා අපේක්ෂිත අයට රැකියා ලැබීමේ වාසනාව හිමි වනු ඇත.

සිංහ ලග්න හිමියන්ගේ 6 වැන්නාධිපති සහ 7 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 3 වැන්න වූ වික‍්‍රම ස්ථානයට සෙනසුරු බලවත්ව පැමිණීම සුබයි. සෙනසුරු ඒරාෂඨකව සිටි පසු ගිය වසර 7 1/2 කාලය තුල සිංහ ලග්න හිමියන් විඳි බොහෝ අපහසුතා මුලුමනින්ම නිමාවට පත්වෙයි. සතුරු කරදර නිමාවට පත් වෙයි. ඔබේ වැඩිමහල් සොයුරු සොයුරියන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. ඔවුන්ගේ ආදර ගෞරවයට පාත‍්‍ර වෙයි. නෑදෑ හිතවතුන්, අසල්වැසියන් සිංහ ලග්න ඔබ ගැන වෙනදා නොතිබූ පැහැදීමක් ඇති කර ගනියි. කෙටි ගමන් බිමන්, විදේශ සංචාර ආදිය යෙදෙයි. අනාගත දියුණුව සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරයි. දේපල, ඉඩම් භූමි වාසනාවයි. තම අයිතිය තහවුරු වෙනු ඇත. රැකියා උසස්වීමයි. තනතුරු හිමිවෙන කාලයයි. නව මිතු සබඳතා ඇතිවෙයි. සුබපල දෙන කාලයකි.

කන්‍යා ලග්න හිමියන්ගේ 5 වැන්නාධිපති සහ 6 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 2 වැන්නට පැමිණ බලවත් වෙයි. දෙවැන්න ධනස්ථානයයි. සෙනසුරු දෙවැන්නේ ගමන් කරන විට කන්‍යා ලග්න හිමියන්ට සෙනසුරු ඒරාෂ්ඨක අපලයක් ද උදා කරයි. ධනස්ථානයේ ඒරාෂ්ඨක අපලය උදා කර ඇතත් ඔබට ධන සම්පත් ලැබෙන කාලයක් ලෙස පැවසිය හැකිය. අතමිට මුදල් සරු වුවත් අධික වියදම් ගෙන දෙන කරුණු යෙදෙයි.  අනුන් සමග කරන ගනුදෙනු, ව්‍යාපාර, පොරොන්දු, ගිවිසුම් කරදරකාරී සහ වංචාවන්ට තුඩු දෙන නිසා කල්පනාවෙන් වැඩ කලයුතුයි. නැත්නම් එමගින් විවිධ කරදර ඇතිවෙනු ඇත. මුදල් නාස්තිවෙන ගමන් වැඩිවෙනු ඇත. රැවටිලි වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. විරුද්ධ ලිංග ඇසුර ප්‍රශ්න, කරදර, පීඩා ඇති කරනු ඇත. පවුලේ අවුල් වියවුල් වැඩිවෙනු ඇත. මානසික සිත් තැවුල්, වැටීම්, තැලීම් තුවාල ආදිය ඇති කරයි.

තුලා ලග්න හිමියන්ගේ 4 වැන්නාධිපති සහ 5 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ ලග්නයට පැමිණ බලවත් වෙයි. ලග්නයට සෙනසුරුගේ සපැමිණීම පංච මහා පුරුෂයෝගයක් වූ "සස" යෝගය උදා කෙරේ. කේන්ද්‍ර ස්ථානයක් වූ ලග්නයට සෙනසුරු පැමිණ උච්ච වීම නිසා තුලා ලග්න හිමියන්ගේ බලාපොරොත්තු රැසක් ඉටුවන කාල සීමාවක් වනු ඇත. 1984 දී තිබූ තත්වය ඔබට මතකනම්, මෙම වසර දෙක ඒ හා සමාන කාලයක් වෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි. තරඟ විභාග වලින් ජය අත් වෙයි. දරුඵල අපේක්‍ෂිත අඹුසැමියන්ගේ බලාපොරොත්තු ඉටු වෙයි. නව නිවසක් තැනීමට අදහස් කර සිටියේ නම් එම බලාපොරොත්තුව ඉටු කරගත හැකිය. තනාගෙන යන නිවසේ වැඩ නිමකර ගැනීමට හැකි වෙයි. තම උත්සාහයට ප්‍රතිපල හිමි කාලයයි. ආදායම ඉහලයයි. අත ගසන කටයුතු සාර්ථකයි. දුරදක්නා නුවණින් වැඩ කලොත් දිනුම අත ලඟයි.

වෘශ්චික ලග්න හිමියන්ගේ 3 වැන්නාධිපති සහ 4 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 12 වැන්න වූ වැය ස්ථානයට සෙනසුරු පැමිණෙයි. ලග්න ඒරාෂඨකය ආරම්භ වේ. නිශ්චල ධනයට හානි සිදු වේ. නීතිමය ප‍්‍රශ්න වලට පැටලීමට ඉඩ තිබේ. නඩුහබ වලින් පරාජය වීමට සිදු වෙයි. දේපල පිළිබඳව ආරවුල් ඇති වෙයි. විකිණීම්, පදිංචියේ වෙනසක් හෝ තනතුරු පහත වැටීම්වලට හේතුවේ. ඔබට පාඩු අලාභ අධික වියදම් ගෙන දෙන වකවානුවකි. දුර බැහැර ගමන් බිමන් විදේශ සංචාර ආදියෙන් පාඩු අලාභ ඇති කරයි. මානසික සිත් පීඩා ඇති වෙයි. වැටීම්, තැලීම්, තුවාල, අනතුරු ලෙඩ දුක් ආදියෙන් ප‍්‍රවේශම් වන්න. අස්ථාන චෝදනා නින්දා අපහාස විඳීමට සිදු විය හැකිය. අසුබ කාලයයි. අසනීප, ධනහානි, කරන කියන වැඩට බාධා, අවහිර, කරදර කාලයයි. නමුත් ඉවසීමෙන් කටයුතු කිරීමේන්, තනි තීරණ නොගැනීමෙන්, සෙත් ශාන්ති හා ආගමික වතාවත් කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගැනීමට හෝ මගහැර ගැනීමට පුලුවන. කේන්දරය ගැන අප දැන සිටිනවානම් බොහෝ දුක් කරදර නිසැකයෙන්ම මග හැර ගත හැකිය. ජ්‍යොතිෂ්‍යයේ ඇති වැදගත්කම ඔප්පුකර ගැනීමට මේ වෘශ්චික ලග්න හිමියන්ට ඇති හොඳම කාලයකි.

ධනු ලග්න හිමියන්ගේ 2 වැන්නාධිපති සහ 3 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 11 වැන්න වූ තුලා රාශියට පැමිණෙයි. 2 වැන්න ධනස්ථානයයි. 3 වැන්න වික්‍රමස්ථානයයි. 11 වැන්න අයස්ථානයයි. මේ අනුව පෙර පින් මහිමය කියාපාන 2 වැන්නාධිපති අයස්ථානය වූ 11 වැන්න වූ සිකුරුට අයිති තුලාවේ රජවීම ලොතරැයි ආදී හදිසි ධන ලාභ ගෙන දීමට හේතුවෙයි. එසේම උප්පත්තියේදී මාරකස්ථානය වූ 8 වැන්වේ ගුරු තැන්පත්ව සෙනසුරු මිත්‍ර රැසක සිටියේනම් ධනු ලග්න හිමියන්ට තමන් නොසිතූ පරිදි අන්තිම කැමති පත්‍රවලින් විශාල ධනයකට උරුමකම් කීම ආදියට මෙවන් ග්‍රහ බලපෑම් හේතුවේ. සෙනසුරුගේ තුලා රාශි ගත වීම ධනු ලග්න හිමියන්ගේ ආර්ථික තත්වය යහපත් වීමට හේතුවන බව පෙන්වයි. සමෘද්ධිමත් කාලයකි. රැකියා, ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි අත් වෙයි. තම හිතුමතයට කරන වැඩ සාර්ථක වන කාලයයි. රැකියා තනතුරු නිලතල උසස්වීමයි. ව්‍යාපාර දියුණුවෙයි. මුදල්, වාසි ලබයි. දේශපාලන වැඩ දියුණුවෙයි. නාමය ප්‍රසිද්ධවෙයි. බලාපොරොත්තු රැසක් ඉටුවන කාලයකි. මෙම කාලය තුල ලැබෙන හා උපයන ධනය සුරක්ෂිත කර නොගතහොත් ඉන් පසු සෙනසුරු දොළොස්වැන්නට පිවිසෙමින් වියදම් අධික කාලයක් නිර්මාණය වනු ඇත.

මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති සහ 2 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 10 වැන්න පැමිණෙයි. කේන්ද්‍රයක 10 වැන්න රැකියා ස්ථානයයි. 10 වැන්න වූ තුලාවේ සෙනසුරු බලවත් වීමෙන් රැකියා බලාපොරොත්තුව සිටින මකර ලග්න හිමියන්ට තරඟ විභාගවලින් ජය ලැබෙන කාලයකි. ස්ථිර රැකියාවක් ලැබීමට හේතු වෙයි. ව්‍යාපාරික කටයුතුවල නියුතු වූවන්ගේ ව්‍යාපර කටයුතු දියුණුවට පත්වන අතර නව ව්‍යාපාර ආරම්භ කිරිමට බලාපොරොත්තු වූ අයට යහපත් කාලයක් වනු ඇත. ව්‍යාපාර නිසියාකාරව පවත්වා ගෙන යා හැකියි. ඉදිරි දියුණුවට ස්ථිර අඩිතාලමක් යෙදීමට කටයුතු කරයි. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ සෙනසුරු 10 වැන්න වූ කේන්ද්‍ර ස්ථානයේ බලවත් වීමෙන් පෙර පැවති කරදර බාධක නිමාවට පත් වෙයි. උත්සාහයේ තරමට ප්‍රතිපල හිමියි. සිත් තැවුල්, වේදනා, කරදර, නැතිව යනු ඇත. නව රැකියා, විපත්, කරදර දුරුවෙනු ඇත.

කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සහ 12 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 9 වැන්න වූ භාග්‍ය ස්ථානයට පැමිණෙයි. ලග්නාධිපති වූ සෙනසුරු භාග්‍ය ස්ථානයට පැමිණීම කුම්භ ලග්න හිමියන්ට සුබයි. පසුගිය කාලය තුළ අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරමින් පීඩා විඳී කුම්භ ලග්න හිමියන්ට සිතේ සතුට ඇති කරන ග‍්‍රහචාරයකි. පිනට දහමට සිත යොමු කරයි. වන්දනා ගමන් බිමන්වල යෙදෙයි. විදේශ ගත වීමට අදහස් කරගෙන සිටියේ නම් එම බලාපෙරොත්තු ඉටු වෙයි. යස ඉසුරු සැප සම්පත් ලැබේ. හතුරු කරදර, විපත්, කරදර පහව යනු ඇත. කරන කියන වැඩට ඇති බාධා ඉවත්වෙනු ඇත. සමාජයේ පිලිගැනීමට ලක්වෙනු ඇත. ධන වාසි, ඉඩම්, ලාභ හිමි කාලයයි. කල්පනාකාරීව වැඩකිරීමෙන් මෙම ශුභ ඵල කිහිප ගුනයකින් වැඩිකර ගත හැකිය.

මීන ලග්න හිමියන්ගේ 12 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති වූ සෙනසුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ 8 වැන්නට පැමිණෙයි. 8 වැන්න කේන්ද්‍රයක බාධක ස්ථානයයි. මීන ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් උදා වෙයි. කරදර බාධා, සිත් තැවුල්, පාඩු අලාභ ඇති වෙයි. රෝග පීඩා, අනතුරු වලින් ප‍්‍රවේශම් විය යුතුය. අනතුරු සහිතයි. ශාරිරීක පීඩා, අසනීප, සිත් තැවුල් වැඩිවෙයි. වැටීම්, තැලීම්, තුවාල වලින් ප‍්‍රවේශම් වීමටද වගබලා ගන්න. නිකරුනේ ගමන් වැඩි වෙයි. බලාපොරොත්තු ඉටු නොවීම නිසා නිතර සිත කනස්සල්ලට පත් වෙයි. නිතර කේන්තියෙන් කල් ගත කරයි. අන් අය නුරුස්සන ගති ඇති වෙයි. ආර්ථික තත්ත්වය අයහපත් වෙයි. නඩු හබ, උසාවි, පොළිසි යන කරුණු යෙදෙයි. බොරු චෝදනා ආදියට ලක් වෙයි. සිත් පීඩා, කලකිරීම බහුල කාලයයි. නොකල වැරදි, බොරු චෝදනා ඇති වෙයි. මිළ, මුදල් නිකරුනේ වැය වෙනු ඇත. සෙත් ශාන්ති හා ආගමික වතාවත් කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගැනීමට හෝ මගහැර ගැනීමට පුලුවන. කේන්දරය ගැන අප දැන සිටිනවානම් බොහෝ දුක් කරදර නිසැකයෙන්ම මග හැර ගත හැකිය.

සෙනසුරු තුලාවේ උච්ච වෙයි. සෙනසුරු මාරුව 2012 ලිපිය බලන්න.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment