Facebook

අධිකරණ කොමිසමේ ලේකම්ට ප්‍රහාරයක්‌

වෑන් රියකින් පැමිණි පිරිසක්‌ පිස්‌තෝලයකින් හිසට සහ මුහුණට පහර දීලා.
 
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා ඊයේ (07 දා) උදේ ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහල අසලදී මැර ප්‍රහාරයකට ලක්‌වීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

මෙම පහරදීම සිදු කළ බව කියන සිව් දෙනකුගෙන් සමන්විත මැර කණ්‌ඩායම පසුව වාහනයක නැගී පලාගොස්‌ ඇතැයි පරීක්‍ෂණ පවත්වන ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසිය පවසයි.

මංජුල තිලකරත්න මහතා පාසල් වියේ පසුවන දරුවා ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලේ පැවැත්වෙන ටේබල් ටෙනිස්‌ ක්‍රීඩා තරගයකට සහභාගි කරවීමට තම රථයෙන් උදේ 8.45 ට පමණ පැමිණ තිබේ. සිය බිරිය හා දරුවා විදුහල අසලට ඇරලවා රථයට ගොඩවී පුවත්පතක්‌ බලමින් සිටියදී වාහනයකින් පැමිණි මැර පිරිස ඒ මහතාව රථයෙන් එළියට ඇද පහරදී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.


තිලකරත්න මහතාට මැරයින් පිස්‌තෝලයකින් හිසට හා මුහුණට පහරදී ඇතැයිද වාර්තාවේ.

සැකකරුවන් මංජුල මහතාගේ ජංගම දුරකථනයද පැහැරගෙන ගොස්‌ ඇත.

මැරයන්ගේ පහරකෑමට ලක්‌ව බිම වැටී වේදනාවෙන් කෑගසමින් සිටි අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා අවට සිටි පිරිස එකතුව රෝහලට පිටත්කර හැර තිබේ.

මංජුල තිලකරත්න මහතා පසුගිය කාල සීමාවේ අධිකරණ ක්‍ෂේත්‍රයට බාහිර පුද්ගලයන් බලපෑම් කරන බවට දිගින් දිගටම මාධ්‍ය ඔස්‌සේ ආන්දෝලනාත්මක ප්‍රකාශද කරනු ලැබීය.

මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැත.

අප මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ හිසේ හා මුහුණේ තුවාල දක්‌නට ඇති බවයි.

රෝහල් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලය තිලකරත්න මහතාට උපරිම ප්‍රතිකාරයන් සිදුකරන බවද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීය.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා ඇත.

Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment