බුදු අක්‌කේ මම ඉවරයි. මට ඉඳලා වැඩක් නැහැ. අනේ මාව බේරගන්න කියා කෑගසමින් බස් රථයෙන් බැසගත් තරුණියක් අපේ නිවසට දිවගෙන ආවේ යෑයි උඩුගම අලුත්වත්ත 19 කණුව අසල පදිංචි කාන්තාවක් වන එම්. එල්. ප්‍රේමවතී (50) මහත්මිය කීවාය.
බස් රථයක ගමන් කරමින් සිටියදී ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ව බරපතළ පිළිස්‌සුම් තුවාල ලැබූ විසිහය හැවිරිදි තරුණිය පිළිබඳ අදහස් දක්‌වමින් ඇය එසේ කීවාය.
මෙම සිද්ධිය පිළිබඳ විස්‌තර කරමින් ඇය අප සමඟ මෙසේද කීවාය.
ඉකුත් 02 වැනි දින හවස 6.10 ට විතර ඇති බස්‌රථයෙන් බැසගත් කොන්දොස්‌තර වතුර ඉල්ලාගෙන නිවසට ආවා. ඊට පස්‌සේ තමයි මේ තරුණිය නිවසට දිවගෙන ආවේ. ඇය උඩුගම බැංකුවක වැඩකරන බව දන්නවා. ඇගේ හිස පිච්චිලා. මුහුණ රතුවෙලා තිබුණා. පසුව ඇගේ හිසට වතුර වත්කළා. ඇය ඇවිත් ගෙදර සාලයේ වාඩිවී තාත්තාට කෝල් එකක් අරන් දෙන්න කීවා. අපි ඇයව ත්‍රිරෝද රථයකින් උඩුගම රෝහලට රැගෙන ගියා.
ඇසිඩ් වැදුණු හය හත් දෙනෙක් විතර හිටියා.
මෙසේ ඇසිඩ් ප්‍රහාරයට ලක්‌වූයේ ගාල්ල උඩුගම නාකියාදෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන දීපිකා සමන්ති ආදිහෙට්‌ටි (26) නමැති තරුණියකි. ඇය උඩුගම නගරයේ රාජ්‍ය බැංකුවක සේවය කරන අතර රැකියාවට ගොස් ආපසු සිය නිවස බලා එමින් සිටියදී මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්‌වූවාය. ඇසිඩ් ප්‍රහාරයට ලක්‌වීමෙන් බරපතළ පිළිස්‌සුම් තුවාල ලැබූ තරුණිය කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන්නීය.
උඩුගම සිට ගාල්ල බලා මෙම බස්‌රථය ගමන් කරමින් තිබූ අතර බස් කොන්දොස්‌තර සහ බසයේ ගමන්ගත් මගීන් හයදෙනෙක්‌ද මෙසේ ඇසිඩ් ප්‍රහාරයට ලක්‌වූහ. දාසය හැවිරිදි පාසල් දැරියක් වූ අනුෂා සඳමාලි දැරියද ඒ අතර වෙයි.
ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ බසයේ ගමන් ගත් කාන්තාවක් වන එස්. රාසමතී (49) මෙම සිද්ධිය විස්‌තර කරමින් - බස් රථයේ පිටුපස ආසනයේ තමයි මම වාඩිවෙලා ආවේ. කවුදෝ කෙනෙක් තරුණියකගේ හිසෙන් අල්ලා මොනවාද වත්කරනවා දැක්‌කා. මම හිතුවේ තරුණියට ක්‌ලාන්තයක් හැදිලා කියලා. පස්‌සේ ඇසිඩ් ගඳක් ආවා. අර තරුණිය කෑ ගසමින් බසයෙන් පැනගත්තා.
තරුණියට ඇසිඩ් ප්‍රහාරය එල්ල කොට ඇත්තේ යක්‌කලමුල්ල ගහළකොළදෙණියේ පදිංචි තරුණයෙකි. ඔහු කාලයක් තේ දලු එකතු කිරීමේ රැකියාවේ නිරතව සිට ඇති අතර තේ දළු ගෙනයැම සඳහා මෙම තරුණියගේ නිවසටද ඔහු පැමිණ තිබේ.
එම තරුණිය සමඟ ඔහු ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබූ බවද පැවසෙන අතර තරුණියගේ පියා එය ප්‍රතික්‍ෂේප කරයි.
දුව හරිම නිහඬ චරිතයක්. වැඩිය කතා බහ කරන්නේ නැහැ. දුවට බැංකුවේ රැකියාව හමුවුණේ මීට වසර තුනකට පමණ ඉහතදී. උඩුගම බැංකුවට ඇවිත් වසරක් විතර වෙනවා. මගේ දුව මේ තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබූ බවට ප්‍රචාරය වෙනවා. ඒක සම්පූර්ණ බොරුවක්. දුව, අපි හොයලා දෙන කෙනකුට තමයි කැමතිවෙලා හිටියේ.
හිතක් පපුවක් නැති මේ වගේ නරුමයන්ට දැඩි දඬුවම් දෙන්න ඕන කියලා තමයි ඉල්ලන්නෙ. පියා ධර්මදාස මහතා කියයි.
මෙම තරුණයා උඩුගම අලුත්වත්ත ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ එය නිවසක නතර කොට ඇසිඩ් බෝතලයක් රැගෙන බස්‌රථයට ගොඩවී තිබේ. බෝතලයක් වැනි දෙයක් රැගෙන පා ගමනින් මාර්ගයේ ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන්ද දැක ඇති අතර අලුත්වත්ත ආසන්නයේදී මොහු බස්‌රථයට ගොඩවී ඇති බවද දැනගන්නට ඇත. ඇසිඩ් ප්‍රහාරය එල්ලකිරීමෙන් පසු මොහු බසයෙන් පැන පලාගොස් තිබේ.

Blogger Comment
Facebook Comment